සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සියයට දෙයි දශම පහ (2.5%) දක්වා ඉහළ නැංවීමත් සමඟ මෙරට ආනයනික වාහනවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මෙම නව බදු සංශෝධනය මැයි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වීමත් සමඟ පාරිභෝගිකයින්ට අමතර මූල්‍ය බරකට මුහුණ දීමට සිදුව ඇත.
වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ මීට පෙර පුද්ගලික මට්ටමින් වාහන ආනයනය කරන්නන්ගෙන් මෙම බද්ද අය නොකළද, මේ වන විට සියලුම ආනයනකරුවන් සඳහා එය අදාළ කර ඇති බවයි. බදු ප්‍රතිශතය මීට පෙර පැවති සියයට එකයි දශම දෙකයි පහ (1.25%) සිට මෙම නව අගය දක්වා ඉහළ නැංවීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට සෘජුවම බලපා ඇත.
මෙම මිල වැඩිවීම නිසා කුඩා ප්‍රමාණයේ මෝටර් රථවල සිට සුඛෝපභෝගී ජීප් රථ දක්වා පුළුල් පරාසයක වාහනවල මිල ගණන් ඉහළ ගොස් ඇත. ඒ අනුව ජනප්‍රිය මාදිලිවල මිල රුපියල් එක් ලක්ෂයකට වඩා වැඩි අගයකින් ඉහළ යනු ඇති අතර සුඛෝපභෝගී වාහන සඳහා රුපියල් ලක්ෂ දහයකට ආසන්න අමතර මුදලක් ගෙවීමට පාරිභෝගිකයින්ට සිදුවනු ඇත.
මෙම බදු සංශෝධනයට අමතරව විදේශීය වෙළෙඳපොළේ මිල උච්චාවචනයන් ද වාහන තක්සේරු කිරීම්වලට බලපා තිබේ. වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ මෙම මිල ඉහළ යාම හේතුවෙන් වාහන වෙළෙඳපොළේ ඉල්ලුම තවදුරටත් පහත වැටිය හැකි බවට කර්මාන්තයේ නියැලෙන්නන් අනතුරු ඇඟවීමක් කරති.














