27 April 2024
#දේශීය

මාවතවැව ගම්මානයේ ඉඩම් මායිම් ගැටළුවට විසදුම් දෙන්න – හිටපු ඇමැති දුමින්ද

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ගම්මැද්ද , මාවතවැව ගම්මානයේ ඉඩම් මායිම් සම්බන්ධයෙන් පැණ නැගී ඇති ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය ගම්මැද්ද , මාවතවැව ගම්මානයේ දීර්ඝ කාළයක් තිස්සේ වගා කළ කුඹුරු ඉඩම් ඇතුළු වගා බිම් හරහා මායිම් ලකුණු කර ඇති බැවින් තම ඉඩම් අහිමි වේයැයි සැකයක් පවතින බව පවසමින් ගොවීන්ට පිරිසක් ඊට විසඳුමක් ලබා දෙන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ ස්ථානය මන්ත්‍රීතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.

එම නිරීක්ෂණය සඳහා තිරප්පනය ප්‍රාදේශිය ලේකම් සජිදා භානු මහත්මිය හා වනජීවි නිළධාරීන්ද සහභාගී වී සිටියහ.

එහිදී ගොවීන් තම වගා බිම් හරහා ඇති මායිම් කණු පෙන්වමින් කියා සිටියේ තම වගා බිම් අක්කර 85 ක් පමණ මායිමෙන් එපිට පවතින බවයි.මෙම මායිම් කුමන පදනමක් හරහා ලකුණු කළාදැයි නොදන්නා බවද ගොවීන් පැවසීය.

එහිදී වනජීවී නිළධාරීන් කියා සිටියේ මෙම මායිම් තම දෙපාර්තමේන්තුව දැමූ මායිම් නොවන බවත්, අලි වැට ඉදි කිරීම වගා බිම් වලට එහායින් සිදු වන බවයි.

එහිදී අදහස් දැක් වූ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් සජිදා භාණු මහත්මිය කියා සිටියේ, මෙම මායිම් බිම් සවිය යටතේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් බවයි.ඒ අනුව මේ සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා විසඳුම් ලබා දෙන ලෙසට තිරප්පනය ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන්ට දුමින්ද දිසානායක මන්ත්‍රීතුමන් උපදෙස් ලබා දුන්හ.

මෙම අවස්ථාවට තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් සජිදා භාණු මහත්මිය ඇතුළු ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිළධාරීන්, වනජීවී නිළධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගී වී සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *