සෝමාලියානු වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදේදී මුහුදු කොල්ලකරුවන් පිරිසක් විසින් තෙල් නැවක් පැහැරගෙන ඇති අතර එහි කාර්ය මණ්ඩලය අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් ආරක්ෂක අංශ තහවුරු කර තිබේ. “Honour 25” නමැති මෙම නෞකාව පසුගිය බදාදා රාත්‍රියේදී සන්නද්ධ පුද්ගලයන් හය දෙනෙකු විසින් සිය පාලනයට ගෙන ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි. මෙලෙස පැහැරගැනීමට ලක්වන අවස්ථාවේදී නෞකාව වෙරළේ සිට නාවික සැතපුම් 30 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ අතර එහි ශ්‍රී ලාංකිකයාට අමතරව පකිස්ථාන ජාතිකයන් 10 ක්, ඉන්දුනීසියානු ජාතිකයන් සිව්දෙනෙක් සහ ඉන්දියානු හා මියන්මාර ජාතිකයන් එක් අයෙකු බැගින් සිටින බව වාර්තා වේ.
බොරතෙල් බැරල් 18,500 ක් රැගත් මෙම නෞකාව සෝමාලියාවේ මොගඩිෂු අගනුවර බලා යාත්‍රා කරමින් තිබූ අතර, මෙම පැහැරගැනීමත් සමඟ එම නගරයේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බවට බියක් හටගෙන තිබේ. දැනටමත් ඉරාන-ඇමරිකා යුද වාතාවරණය හමුවේ එහි ඉන්ධන මිල තෙගුණයකින් ඉහළ ගොස් ඇත. නෞකාව සිය පාලනයට ගත් කොල්ලකරුවන් මේ වන විට එය සෝමාලියානු වෙරළට ආසන්න “බාන්ඩර් බේලා” ප්‍රදේශයේ රඳවා තබා ඇති අතර, තවත් සන්නද්ධ පුද්ගලයන් පස් දෙනෙකු පසුව නෞකාවට ගොඩවැදී ඇති බව ද තොරතුරු අනාවරණය වී තිබේ.
වසර තුනකට පමණ පෙර මෙම මුහුදු කලාපය තුළ කොල්ලකෑම් අවම වී තිබුණ ද, මෑතක සිට නැවතත් නෞකා පැහැරගැනීම් ඉහළ යමින් පවතින බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් සෝමාලියානු බලධාරීන් හෝ කලාපයේ මුහුදු මංකොල්ල විරෝධී මෙහෙයුම් මෙහෙයවන යුරෝපීය නාවික බලකාය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත. කෙසේ වෙතත්, පැහැරගැනීමට ලක්වූවන්ගේ ආරක්ෂාව සහ නෞකාව මුදාගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය යොමු වී තිබේ.














