ලෝක කුසලාන පාපන්දු තරගාවලියට (FIFA World Cup) සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගියද, එහිදී එරටට ඇතුළුවීම ප්‍රතික්ෂේප කෙරුණු සෝමාලියානු සුපිරි පාපන්දු විනිසුරු ඕමාර් ආර්ටන් (Omar Artan) බදාදා දිනයේදී නැවත මවුබිම බලා පැමිණි අතර, එහිදී ඔහුට ප්‍රේක්ෂකයින් සහ මාධ්‍යවේදීන්ගෙන් ඉහළ පිළිගැනීමක් හිමිවිය.
මොගඩිෂු හි ඒඩන් ඇඩේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ (Aden Adde International Airport) වෙත රැස්ව සිටි විශාල පිරිසක් සෝමාලි ධජ සහ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ඔහුව උණුසුම් ලෙස පිළිගත්හ. ලෝකයේ ඉහළම ඇගයීමක් සහිත විනිසුරුවරයෙකු වන ආර්ටන්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියක විනිසුරුකම මෙහෙයවන පළමු සෝමාලියානු ජාතිකයා වීමට නියමිතව සිටියද, පසුගිය සතියේ මියාමි ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී (Miami International Airport) ඔහුව ඇමරිකාවට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ඇමරිකානු ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු සංක්‍රමණිකයන් පාලනය කිරීම සඳහා පනවා ඇති සංචාරක තහනමට (Travel ban) ලක්වූ රටවල් අතර සෝමාලියාව ද පවතින බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ‘The New York Times’ පුවත්පත වෙත අදහස් දක්වමින් ආර්ටන් කියා සිටියේ, ඇමරිකානු දේශසීමා නිලධාරීන් තමන් සතු ලේඛන සහ වෘත්තීය ජීවිතය පිළිබඳව පැය 11කට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බවයි. ඉන් අනතුරුව තමන්ව රඳවා තබා ගැනීමේ කුටියකට (Holding cell) යොමු කර, පසුව ඉස්තාන්බුල් බලා යන ගුවන් යානයකට නැංවූ බව ඔහු පැවසීය. “මම විශාල වශයෙන් කලකිරීමට පත්වුණා. මම මගේ ජීවිතයේ ලොකුම හීනය වන ලෝක කුසලානයට සහභාගී වෙන්න උත්සාහ කරපු සාමාන්‍ය විනිසුරුවරයෙක් විතරයි. මා සතුව නිවැරදි ලේඛන සහ නිවැරදි වීසා (Visa) තිබුණා” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, ලෝක කුසලාන තරගාවලිය සඳහා වන ධවල මන්දිර කාර්ය සාධක බලකායේ ප්‍රධානී ඇන්ඩෲ ජුලියානි (Andrew Giuliani) ප්‍රකාශ කර ඇත්තේ, ආර්ටන්ට ඇමරිකාවට ඇතුළුවීම ප්‍රතික්ෂේප කිරීමට “ඉතා හොඳ හේතුවක්” තිබූ බවයි. කෙසේ වෙතත්, ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හෙළි කිරීමට ඔහු මැළිකමක් දක්වා තිබේ.
















