මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඇතැම් තීරණවලට එරෙහිව තලවකැලේ – නුවරඑළිය පෞද්ගලික බස් රථ හිමියන්, රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද (ජූනි 10 වැනිදා) නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී බස් රථ ධාවනයෙන් ඉවත්ව විශේෂ විරෝධතාවයක නිරත විය.
විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ තලවකැලේ – නුවරඑළිය මාර්ගයේ දිනකට බස් රථ 14ක් ධාවනය වන බවයි. කෙසේ වුවද, රදැල්ල කෙටි මාර්ගය ඔස්සේ ධාවනය කරනු ලබන හැටන් – නුවරඑළිය සුඛෝපබෝගී බස් රථ හේතුවෙන්, තලවකැලේ – කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ධාවනය වන තමන්ගේ බස් රථවලට දැඩි අසාධාරණයක් සිදුවන බව ඔවුහු පවසති. මේ හේතුවෙන් තම බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති අතර, ඒ පිළිබඳව මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු නිසි ප්‍රතිචාරයක් ලැබී නොමැති බවට ඔවුහු චෝදනා කරති.
මෙම විරෝධතාවය ආරම්භ කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බස් රථ සඳහා ජී.පී.එස්. (GPS) තාක්ෂණය සවි නොකළහොත්, එම බස් රථවල මගී අවසර බලපත්‍රය (Route Permit) නැවත ලබා ගැනීමට බලධාරීන් කටයුතු කිරීමයි. මීට අමතරව GPS යන්ත්‍ර සවි කිරීමේදී අය කරනු ලබන මුදල්වල පවතින විෂමතාවන් පිළිබඳව ද මෙහිදී විරෝධය පළ විය. හැටන් – නුවරඑළිය රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගන්නා පෞද්ගලික සුඛෝපබෝගී බස් රථ සඳහා GPS සවි කිරීමට රුපියල් 11,000ක මුදලක් අය කරන පසුබිමක, තලවකැලේ – කිරිමැටිය හරහා වටරවුම් මාර්ගයේ ධාවනය වන බස් රථ සඳහා රුපියල් 17,500ක මුදලක් ගෙවන ලෙස මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය තමන්ට බලපෑම් කරන බව බස් රථ සේවකයෝ ප්‍රකාශ කරති.
එක් ගමන් වාරයක් සඳහා පමණක් දිනකට කිලෝමීටර් 48ක දුරක් ධාවනය කරමින් පවතින වත්මන් තත්ත්වය හමුවේ බස් කර්මාන්තය ඉදිරියට කරගෙන යා නොහැකි බව පවසන බස් හිමියන් අවධාරණය කරන්නේ, තමන් ඉදිරිපත් කර ඇති මෙම පොදු ගැටලුවලට බලධාරීන් නිසි විසඳුම් ලබා දෙන්නේ නම් තම බස් රථවලට GPS තාක්ෂණය සවි කරගැනීමට කිසිදු අකමැත්තක් නොමැති බවයි.
















