ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩ බලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස සෝමසේන මහදිවුල්වැව මහතා අද (15) දින සිය රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී. කීර්තිමත් රාජ්‍ය සේවකයෙකු මෙන්ම වෘත්තීය වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ඒ මහතා, ජාතික ආර්ථිකය සහ අපනයන ක්ෂේත්‍රය නංවාලීම වෙනුවෙන් වසර 24 කට වැඩි කාලයක් වාණිජ දෙපාර්තමේන්තුව තුළ සේවය කර තිබේ.
ඒ මහතා ත්‍රිකුණාමලය මහදිවුල්වැව මහා විද්‍යාලයේ සහ අනුරාධපුර නිවත්තකචේතිය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (පොදු) උපාධියක් ලබා ඇති අතර, දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යයන කටයුතුවල නිරත වේ. සිය වෘත්තීය ජීවිතය තුළ එක්සත් රාජධානිය, ඉතාලිය, ජපානය සහ දකුණු අප්‍රිකාව යන රටවල පිහිටි ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩලවල ප්‍රධාන රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇත.
ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අමාත්‍ය මණ්ඩල සම්මන්ත්‍රණවලදී ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ඔහු, නිදහස් වෙළඳ ගිවිසුම් (FTA) සාකච්ඡා සහ ජාතික වෙළඳ ප්‍රතිපත්ති සංවර්ධනය සඳහා සක්‍රීයව දායක වී තිබේ. මීට අමතරව 2009 වසරේදී ජිනීවාහි ලෝක වෙළඳ සංවිධානයේ සීමාවාසිකයෙකු ලෙස ද සේවය කර ඇත. ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා, වෙළඳ ප්‍රවර්ධනය සහ වාණිජ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ක්‍රියාත්මක කරමින් ගෝලීය වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ වාණිජ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා ඔහු මහඟු සේවයක් ඉටු කර තිබේ.














