දකුණු අප්‍රිකාව තුළ ක්‍රියාත්මක වන සංක්‍රමණික විරෝධී කණ්ඩායම් විසින් නීති විරෝධී විදේශිකයන්ට රටින් පිටවීම සඳහා ලබා දී ඇති නිල නොවන අවසන් දිනය (ජූනි 30) හෙටින් අවසන් වන බැවින්, දරුණු ප්‍රචණ්ඩ ක්‍රියාවලට බියෙන් දහස් ගණන් මලාවි (Malawi) ඇතුළු විදේශීය සංක්‍රමණිකයන් දකුණු අප්‍රිකාවෙන් පලා යමින් සිටිති. මෙම බියකරු වාතාවරණය හේතුවෙන් බොහෝ පියවරුන්ට තමන් උපයන මුදලින් ජීවත් වූ තම දකුණු අප්‍රිකානු බිරින්දෑවරුන් සහ කුඩා දරුවන් දමා හිස්ලූ ලූ අත පලා යාමට සිදුව ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
රජය මෙම අවසන් දින ප්‍රකාශයන් හෝ ප්‍රචණ්ඩත්වය අනුමත නොකළ ද, සිවිල් සංවිධාන පවසන්නේ බලධාරීන් මෙම තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි. ඩර්බන් (Durban) නගරයේ තාවකාලික කඳවුරුවල දහස් ගණන් ජනතාව බස් රථ පැමිණෙන තෙක් දින ගණන් මඟ බලා සිටින අතර, තමන් නීත්‍යානුකූලව සිටිය ද ප්‍රචණ්ඩකාරීන්ගෙන් ජීවිත බේරාගැනීම සඳහා රටින් පිටවන බව බොහෝ සංක්‍රමණිකයෝ පවසති. දකුණු අප්‍රිකානු නිවාස අමාත්‍යාංශය දැනටමත් මෙම පිරිස් දේශසීමා වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතත්, හෙට දින සැලසුම් කර ඇති විරෝධතා හේතුවෙන් විශාල ලේ වැගිරීමක් සිදුවනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කරති.
















