තායිලන්තයේ බැංකොක් නුවර පැවැති 2026 WBC මුයි තායි ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කරමින් ප්‍රථම වතාවට රන් පදක්කමක් දිනා ගැනීමට ආෂික් නසීර් (Aashiq Nazeer) සමත්ව තිබේ. තරගාවලියේ කිලෝග්‍රෑම් 57 බර පන්තිය යටතේ (Senior 57kg) තරග වැදුණු ආෂික් මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තා කළේය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙවර තරගාවලියට සහභාගී වූ අතර, ඉන් ක්‍රීඩකයන් සිව්දෙනෙකුම ලංකාවට පදක්කම් දිනා දීමට සමත් විය.
ඒ අනුව, මෙතුක (Methuka) වයස අවුරුදු 10-11 (කිලෝග්‍රෑම් 44) අංශයෙන් රිදී පදක්කමක් ද, ගෙවින් (Gevin) කිලෝග්‍රෑම් 71 අංශයෙන් ලෝකඩ පදක්කමක් සහ කුලුනු (Kulunu) වයස අවුරුදු 14-15 (කිලෝග්‍රෑම් 40) අංශයෙන් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්තේය. WBC මුයි තායි ශ්‍රී ලංකා සංගමයේ සභාපති රොෂාන් දුමින්ද මහතා සඳහන් කළේ, ආෂික් ලබාගත් මෙම ඓතිහාසික රන් පදක්කම සහ මුළු පදක්කම් ලාභයම ජාත්‍යන්තර තලයේ ලාංකීය මුයි තායි ක්‍රීඩාවේ දියුණුව පෙන්නුම් කරන විශාල සන්ධිස්ථානයක් වන බවයි.
















