හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පියවරෙන් පියවර දායකත්වය ලබා දීමේ හැකියාව පිළිබඳව දකුණු කොරියාවේ අවධානය යොමුව ඇති බව එරට ආරක්ෂක අමාත්‍ය අන් ග්‍යු-බෙක් (Ahn Gyu-back) මහතා ප්‍රකාශ කළේය. වොෂින්ටන් නුවරදී අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) සමඟ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව වෙනුවෙන් පියවරෙන් පියවර දායක වීමට සෝල් පාලනය සූදානම් බව ඔහු අවධාරණය කළේය. මෙහිදී සෘජු මිලිටරි මැදිහත් වීමකට වඩා දේශපාලන සහයෝගය ලබා දීම, තොරතුරු හුවමාරු කර ගැනීම, නිලධාරීන් අනුයුක්ත කිරීම සහ මිලිටරි වත්කම් සැපයීම වැනි ක්‍රියාවලීන් කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් දකුණු කොරියානු හමුදා මෙහෙයුම් සඳහා සහභාගී කරවා ගැනීම පිළිබඳව මෙතෙක් ගැඹුරු සාකච්ඡාවක් සිදු වී නොමැති බවත් එවැනි තීරණයක් ගනු ලබන්නේ දේශීය නීතිමය පටිපාටීන්ට අනුකූලව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. මීට අමතරව දෙපාර්ශ්වය අතර යුධ කාලීන මෙහෙයුම් පාලනය සහ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන පිළිබඳව ද සාකච්ඡා වී ඇත.
















