ඇමෙරිකානු මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වූ තෙදින සටන් විරාමය අවසන් වීමත් සමඟ රුසියානු හමුදා යුක්රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් (Dnipropetrovsk) කලාපයට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් වාර්තා කරයි. සඳුදා දින අවසන් වූ සටන් විරාමය දීර්ඝ කිරීමේ යෝජනාව රුසියාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව යුක්රේන බලධාරීන් පෙන්වා දෙයි.
රුසියාව විසින් එක රැයකින් ඩ්‍රෝන යානා 200කට අධික සංඛ්‍යාවක් දියත් කර ඇති අතර මෙහිදී සිවිල් වැසියන් පදිංචි නිවාස සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇත. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ උපන් නගරය වන ක්‍රිවි රිහ් (Kryvyi Rih) හි පිහිටි මහල් නිවාස සංකීර්ණයකට එල්ල වූ ප්‍රහාරයකින් අඹුසැමි යුවළක් මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් අතර මියගිය යුවළගේ මාස නවයක් වයසැති මිණිබිරිය ද වන අතර ප්‍රහාරයෙන් ඇයගේ පාදයක් අහිමි වී ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරය කිසිදු මිලිටරි තර්කනයකින් තොරව සිදු කළ නින්දිත ක්‍රියාවක් බව ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. සටන් විරාමයෙන් පසුව රුසියාව නැවතත් යුක්රේන වැසියන් ඝාතනය කිරීම ආරම්භ කර ඇති බැවින් ඔවුන්ට එල්ල කරන ජාත්‍යන්තර පීඩනය කිසිසේත් ලිහිල් නොකළ යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මේ අතර යුක්රේන හමුදා ද රුසියාවේ ඔරෙන්බර්ග් (Orenburg) ප්‍රදේශයේ පිහිටි ගෑස් පහසුකම් මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.
















