දකුණු කොරියානු බලධාරීන් විසින් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පාර්ක් වෑන්ග්-යෝල් (Park Wang-yeol) සමඟ සම්බන්ධකම් පැවැත්වූ ප්‍රධාන මත්ද්‍රව්‍ය සැපයුම්කරුවෙකු අද (01) තායිලන්තයේ සිට නැවත සිය රටට ගෙන්වා ගනු ලැබීය. “චෝයි” (Choi) යන වාසගම සහිත මෙම සැකකරුට එරෙහිව සිය රට තුළ අපරාධ චෝදනා එල්ල වීමට නියමිතය.
චෝයි නමැති මෙම සැකකරු 2019 වසරේ සිට වෝන් බිලියන 10ක් (ඇමරිකානු ඩොලර් මිලියන 6.77ක් පමණ) වටිනා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියි. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් විදේශයන්හි ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බවට බලධාරීන් සැක පහළ කරයි.
පසුගිය මාර්තු 25 වන දින පිලිපීනයේ සිට පිටුවහල් කරන ලද පාර්ක් වෑන්ග්-යෝල් පිළිබඳ පරීක්ෂණ පවත්වන අතරතුර මෙම සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත. පාර්ක් වෑන්ග්-යෝල් යනු පිලිපීනයේදී දකුණු කොරියානු ජාතිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 60ක සිරදඬුවමක් විඳිමින් සිටි පුද්ගලයෙකි. ඔහුට එරෙහිව දකුණු කොරියාවට මෙතම්පෙටමින් (methamphetamine) වැනි මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා එල්ල වී තිබේ.
ඉන්චියොන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පාර්ක් සමඟ පැවති සම්බන්ධතාවයේ ස්වභාවය, සැකකටයුතු ගනුදෙනු සහ අපරාධවලින් උපයාගත් මුදල් පිළිබඳව පොලිසිය ඉදිරි විමර්ශන පවත්වනු ඇත. ගුවන් තොටුපළේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ඔහු කිසිදු පිළිතුරක් ලබා නොදී පොලිස් වාහනය වෙත ගමන් කර ඇත.














