මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ තුළ මතුව ඇති අස්ථාවරත්වයට මුහුණ දීම සඳහා ද්‍රවීකෘත ස්වාභාවික වායුව (LNG) සහ බොරතෙල් සැපයුම් සහයෝගීතාව පුළුල් කරගැනීමට දකුණු කොරියාව සහ ජපානය අද (19) දින එකඟතාවයකට පැමිණ තිබේ.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් (Lee Jae Myung) සහ ජපාන අග්‍රාමාත්‍ය සනායේ ටකයිචි (Sanae Takaichi) යන මහත්ම මහත්මීන් ජනාධිපතිවරයාගේ උපන්ගම වන අන්දොන්ග් (Andong) නුවරදී පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය නිවේදනය කරන ලදී. මෙහිදී දෙරටේ නායකයින් අවධාරණය කළේ බොරතෙල් සහ LNG හදිසි අවස්ථාවලදී අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කරගැනීමේ (Swap Arrangements) සහ තොග රැස්කර තබාගැනීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක් දියත් කරන බවයි. ආනයනික ඉන්ධන මත දැඩි ලෙස යැපෙන මෙම ආසියානු ආර්ථිකයන් ද්විත්වයම මැදපෙරදිග වරායන් ආශ්‍රිතව පවතින සැපයුම් බාධාවන් හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව සිටී.
බලශක්ති සුරක්ෂිතතාවයට අමතරව, උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජන ඇතුළු කලාපීය ආරක්ෂක අර්බුද හමුවේ ඇමෙරිකා එක්සත් ජනපදය ද සම්බන්ධ කරගනිමින් ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ද නායකයින් මෙහිදී ප්‍රතිඥා දුන්හ. දෙරට අතර පවතින “ෂටල් රාජ්‍ය තාන්ත්‍රික” (Shuttle Diplomacy) සබඳතාවය හරහා දෙරට අතර අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් වර්ධනය වී ඇති බව ද ඔවුහු පෙන්වා දුන්හ.














