මැදපෙරදිග කලාපයේ පවතින අර්බුදකාරී වාතාවරණය මධ්‍යයේ වුවද දකුණු කොරියානු ආර්ථිකය 2026 වසරේ පළමු කාර්තුව තුළ වසර පහහමාරකට පසු වාර්තා වූ ඉහළම කාර්තුමය වර්ධනය ලබා ගැනීමට සමත් වී තිබේ. කොරියානු මහ බැංකුව (Bank of Korea) බ්‍රහස්පතින්දා නිකුත් කළ දත්තවලට අනුව අර්ධ සන්නායක (Semiconductors) ක්ෂේත්‍රයේ අපනයන ඉහළ යාම සහ දේශීය ඉල්ලුම ස්ථාවරව පැවතීම මීට ප්‍රධාන වශයෙන් බලපා ඇත. ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ එරට දළ දේශීය නිෂ්පාදිතය (GDP) පෙර කාර්තුවට වඩා සියයට 1.7 කින් වර්ධනය වී ඇති අතර මෙය 2020 වසරේ තුන්වන කාර්තුවෙන් පසුව වාර්තා වූ ශක්තිමත්ම වර්ධනයයි.
මීට පෙර කොරියානු මහ බැංකුව පුරෝකථනය කර තිබුණේ සියයට 0.9 ක වර්ධනයක් වුවද සැබෑ වර්ධනය එම අගය මෙන් දෙගුණයකට ආසන්න වී තිබීම විශේෂත්වයකි. ලෝක වෙළඳපොළ තුළ චිප්ස් (Chips) සඳහා පවතින ඉහළ ඉල්ලුම සහ කොරියානු අපනයන ක්ෂේත්‍රයේ ශක්තිමත්භාවය මෙම ආර්ථික පිම්මට මූලික හේතුව වී තිබේ. මෙම වර්ධනයත් සමඟ දකුණු කොරියාව 2026 වසර සඳහා අපේක්ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට වඩාත් සුබවාදී ප්‍රවේශයක් ලබා ගෙන ඇත.














