බ්ලූම්බර්ග් වාර්තාවලට අනුව, වසර තුනකට පසු මෙරට මුදල් ඉතිහාසයේ දැවැන්තම වර්ධනය වාර්තා කරමින්, ශ්‍රී ලංකා රුපියල ඉතා කෙටි කාලයක් තුළ ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත්වීමට සමත්ව තිබේ. ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය එකවර 3% කින් පමණ අතිප්‍රමාණය වීම මුදල් වෙළෙඳපොළ තුළ ඉතා කැපී පෙනෙන වෙනසක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් මුදල් ඒකකයක අගය ක්‍රමානුකූලව වෙනස් වන පසුබිමක, මෙම ක්ෂණික වර්ධනය පිටුපස විදේශ ආයෝජකයින්ගේ දැඩි විශ්වාසය සහ වෙළෙඳපොළට විශාල වශයෙන් ඩොලර් ගලා ඒම වැනි සාධක ප්‍රබල ලෙස බලපා තිබේ.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාව ආයෝජකයින් තුළ විශාල විශ්වාසයක් ගොඩනංවා ඇත. ණය ප්‍රතිව්‍යුහගතකරණයේ ස්ථාවරත්වය සහ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම කෙරෙහි පවතින විශ්වාසය දේශීය මුදල් ඒකකයට ඉන්ධනයක් වී තිබේ. මීට අමතරව, සංචාරක ඉපැයීම් වර්ධනය, විදේශ ශ්‍රමික ප්‍රේෂණ ස්ථාවර වීම සහ අපනයන ආදායම් රුපියල් බවට හැරවීම ශක්තිමත් වීම වැනි කරුණු නිසා ආර්ථිකයට ලැබෙන ඩොලර් ප්‍රමාණය ඉහළ ගොස් ඇත. රුපියල කඩා වැටෙනු ඇතැයි අපේක්ෂාවෙන් ආයෝජනය කළ ඇතැම් වෙළෙඳුන්, අනපේක්ෂිත ලෙස රුපියල ශක්තිමත් වීම නිසා නැවත රුපියල් මිලදී ගැනීමට සිදුවීමෙන් නිර්මාණය වූ “short squeeze” තත්ත්වයද රුපියලේ වටිනාකම තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
මැදපෙරදිග අස්ථාවරත්වය සහ තෙල් මිල ඉහළ යාම නිසා ආසියානු කලාපයේ බොහෝ මුදල් ඒකක පීඩනයට ලක්ව ඇති පසුබිමක, ශ්‍රී ලංකා රුපියල ලබාගෙන ඇති මෙම ජයග්‍රහණය ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත. කෙසේ වෙතත්, මෙම හදිසි වර්ධනය පිටුපස යම් අවදානම් සහගත තත්ත්වයන්ද පවතී. රුපියල අධික ලෙස ශක්තිමත් වීම නිසා අපනයනකරුවන්ගේ ආදායම් අඩු වීම, සංචාරක කර්මාන්තයේ තරඟකාරීත්වය අඩුවීම සහ විදේශ ප්‍රේෂණ ලැබීම මන්දගාමී වීමේ අවදානමක් පවතී. එමෙන්ම, මෙය කෘත්‍රිම ස්ථාවරත්වයක් පමණක් නොව, තෙල් මිල ඉහළ යාම වැනි බාහිර සාධක හේතුවෙන් යළිත් රුපියල මත පීඩනයක් ඇති වීමේ හැකියාවද බැහැර කළ නොහැක. ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය සහ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීම ඉදිරියේදී ආයෝජක විශ්වාසය ආරක්ෂා කර ගැනීමට අතිශයින් වැදගත් වනු ඇත.














