ඉරාන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ වුවද, අප්‍රේල් සිට ඔක්තෝබර් දක්වා පවතින කාර්යබහුල සංචාරක සමය ඉලක්ක කරගනිමින් සිය මගී ආසන ධාරිතාව 6%කින් ඉහළ නැංවීමට ස්පාඤ්ඤ ගුවන් සේවා සමාගම් පියවර ගෙන තිබේ. මැදපෙරදිග පවතින යුධමය තත්ත්වය හේතුවෙන් ගැටුම් පවතින කලාපවලට යෑමට සිටි සංචාරකයින් සිය ගමන්මග වෙනස් කරමින් ස්පාඤ්ඤය වැනි මධ්‍යධරණී රටවල් කරා ආකර්ෂණය වීම මෙම තීරණයට හේතු වී ඇත.
ඒ අනුව, මෙවර සංචාරක සමය සඳහා ආසන මිලියන 260ක පමණ ධාරිතාවක් වෙන් කර ඇති අතර, මෙය පසුගිය වසරේ වාර්තා වූ 5.9%ක වර්ධනයට අනුකූල වේ. ස්පාඤ්ඤ ගුවන් සේවා සංගමයේ (ALA) සභාපති ජාවියර් ගන්ඩාරා පෙන්වා දෙන්නේ, එරට ගුවන් සේවා සඳහා අවශ්‍ය ඉන්ධන බහුතරයක් දේශීයව සපයා ගන්නා බැවින් මැදපෙරදිග සැපයුම් අවදානමට ඇති නිරාවරණය සීමිත වී ඇති බවයි. කෙසේ වෙතත්, උද්ධමනය සහ භූ-දේශපාලනික අවිනිශ්චිතතාවය ඉදිරියේදී සංචාරක ඉල්ලුමට බලපෑම් කළ හැකි බවට කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ අනතුරු අඟවති.














