දේශපාලන ක්ෂේත්‍රය පිරිසිදු කරන බවට ප්‍රතිඥා දෙමින් මීට වසර අටකට පෙර දූෂිත මධ්‍ය-දක්ෂිණාංශික රජයක් බලයෙන් පහ කළ ස්පාඤ්ඤයේ සමාජවාදී අගමැති පෙඩ්‍රෝ සැන්චෙස් මේ වන විට සිය පක්ෂය සහ පවුලේ සාමාජිකයන්ට එරෙහිව ගොඩගැසී ඇති දූෂණ චෝදනා හමුවේ දැඩි අභියෝගයකට මුහුණ දී සිටී. අගමැති සැන්චෙස්ගේ බිරිඳ, ඔහුගේ සහෝදරයා සහ ඔහුට සමීපතම ප්‍රධාන පාක්ෂිකයන් රැසක් දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්වෙමින් පවතී.මේ දක්වා කිසිදු නඩුවක සැන්චෙස්ගේ නම සඳහන් වී නොමැති අතර, මෙම චෝදනා තමන් බලයෙන් පහ කිරීම සඳහා දියත් කර ඇති දේශපාලන කුමන්ත්‍රණයක කොටසක් බව ඔහු පවසයි.විදේශයන්හිදී ලිබරල්වාදීන් විසින් අගය කරනු ලැබුවද, දේශීය වශයෙන් ඔහු මත පවතින ජනප්‍රියතාවය පහළ ගොස් ඇත. දූෂණ චෝදනා මධ්‍යයේ සිය මිත්‍ර පක්ෂවලින් පවා ඔහු විවේචනයට ලක්වෙමින් පවතී. දූෂණ චෝදනා ගොඩගැසී පැවතියද, රජය විසින් කල්තියා මැතිවරණ පැවැත්වීම ප්‍රතික්ෂේප කර ඇත. දක්ෂිණාංශික අන්තවාදීන් පිළිබඳ බිය නිසා කුඩා පක්ෂ ඔහුට එරෙහි විශ්වාසභංග යෝජනාවකට සහාය ලබා දීමට අකමැති වී තිබේ.2018 දී බලයෙන් පහ කෙරුණු කොන්සර්වේටිව් පීපල්ස් පක්ෂයේ නායක ඇල්බර්ටෝ ෆෙයිජූ උපහාසයෙන් පවසා ඇත්තේ, සැන්චෙස්ගේ රජය වටා කොතරම් නඩු ප්‍රමාණයක් පවතිනවාද යත්, බදාදා පොලිසිය සැන්චෙස්ගේ සමාජවාදී පක්ෂ මූලස්ථානය පරීක්ෂා කළ විට එය කුමන නඩුවකට අදාළ දැයි ජනතාවට අදහසක් නොතිබූ බවයි.
ස්පාඤ්ඤයේ දේශපාලන ක්‍රමය තුළ බලයේ සිටින ප්‍රධාන පක්ෂ ද්විත්වයම තමන් සතු බලතල සහ අනුග්‍රහයන් තම පක්ෂ වාසි සඳහා යොදා ගැනීමේ දීර්ඝ ඉතිහාසයක් පවතින බව නීතිඥ මිරියම් ගොන්සාලෙස් පෙන්වා දෙයි. සැන්චෙස්ගේ කාර්යාලය හෝ ඔහුගේ පක්ෂය මෙම චෝදනා සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නොමැත.
















