ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායම් පද්ධතිය නවීකරණය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය (RARMB) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පසුගිය වසර තුළ බදු පද්ධතිය, රේගු ක්‍රමවේද සහ සුරාබදු කළමනාකරණය ඇතුළු සමස්ත රාජ්‍ය ආදායම් ආකෘතියේ සිදු වූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මෙහිදී සමාලෝචනය කෙරිණි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව සමඟ IMF නියෝජිතයන් සාකච්ඡා පවත්වා ඇති අතර, ඩිජිටල් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, දත්ත ඒකාබද්ධ කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ බදු පදනම පුළුල් කිරීමේ තිරසර ක්‍රමවේද පිළිබඳව වැඩි අවධානයක් යොමු විය.
RARMB කාර්යාංශය ශක්තිමත් පාලන රාමුවක් සහිත ප්‍රතිසංස්කරණ කේන්ද්‍රයක් ලෙස කටයුතු කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක් වූ අතර, ශ්‍රී ලංකාවේ මෙම වැඩපිළිවෙළ සඳහා අඛණ්ඩ තාක්ෂණික සහ උපදේශන සහාය ලබා දීමට IMF එකඟතාව පළ කළේය.
2025 වසරේ ස්ථාපිත කළ RARMB කාර්යාංශයේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය ආදායම් එකතු කිරීම නවීකරණය කර බදු පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශාඛා ව්‍යුහගත කිරීමෙන් පසු එහි බදු අනුකූලතාව 40–45% සිට 70–75% දක්වා ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබී තිබේ.
මෙම අවස්ථාවට IMF රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ඇන්ඩෘ කිලර් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් සහ RARMB කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.
















