2026 සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ගරු කථානායකවරයා සඳහන් කර ඇත්තේ, අලුත් අවුරුද්ද යනු හුදෙක් නව වසරක උදාව පමණක් නොව ශ්‍රී ලාංකික සංස්කෘතික උරුමය අනාගත පරපුරට දායාද කරන ජාතික උත්සවයක් බවයි. පැරණි අමනාපකම් දුරු කර සහයෝගීත්වයෙන් නව ආරම්භයක් ලබාගැනීමේ වැදගත්කම ඔහු මෙහිදී අවධාරණය කළේය. පසුගිය වසරේ මුහුණ දුන් ‘දිට්වා’ වැනි ස්වභාවික විපත් සහ පවතින ආර්ථික අර්බුද හමුවේ ශ්‍රී ලාංකිකයන් දැක්වූ ධෛර්යය අගය කළ කථානායකවරයා, වර්තමාන මැදපෙරදිග යුදමය වාතාවරණය වැනි ජාත්‍යන්තර අභියෝග හමුවේ ද එම එකමුතුකම ශක්තියක් කරගත යුතු බව පවසා ඇත. සියලු බාධක ජයගෙන සෞභාග්‍යමත් දේශයක් ගොඩනැගීමට අත්වැල් බැඳගන්නා ලෙස ඔහු සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.














