27 April 2024
#දේශීය

පරිසර හානිකිරීම් ගැන විමර්ශණයට විශේෂ හදිසි කඩා පැනීම් ඒකකයක් -පරිසර ඇමැති

පරිසර අමාත්‍යාංශයට අනුබද්ධව විශේෂ අභ්‍යන්තර විමර්ශණ ඒකකයක් හෙවත් හදිසි කඩාපැනීම් ඒකකයක් පිහිටුවීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය.

පරිසර අමාත්‍යවරයා විසින් ලේකම්වරයා මෙන්ම අනෙකුත් අතිරේක ලේකම්වරුන් සමග කළ සාකච්ඡාවක් පරිදි දැනට පරිසර අමාත්‍යාංශයට අනුබද්ධව ක්‍රියාත්මක වන ආයතනවල වැඩ කටයුතු කාර්යක්ෂම කිරීම මෙන්ම මහජනතාව වෙතින් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් වන පැමිණිළි විමර්ශනය සඳහා මෙම හදිසි කඩා පැනීම් ඒකකය පිහිටුවිය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වනවිට විමර්ශණ නිලධාරින් කිහිප දෙනෙකු සිටිය ද එහි කටයුතු සෑහීමකට පත්විය හැකි අයුරින් සහ විදිමත් පරිදි සිදු නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවලින් යම් යම් සේවාවන් සපයා ගැනීමට එන මහජනතාවට කොළඹට ම පැමිණීමට සිදුව තිබේ.

එමෙන්ම පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ප්‍රධාන ආයතන හතරට අදාලව පත් කර ඇති දිස්ත්‍රික් නිලධාරින් රැසකගේ අකටයුතුකම් සම්බන්ධව මහජනතාව වෙතින් නිරන්තරයෙන් අමාත්‍යාංශයට පෙත්සම් ලැබී ඇත. බොහෝවිට මහජනතාව වෙතින් ඉදිරිපත්ව ඇති පැමිණිළිවල සඳහන් වන්නේ ඇතැම් නිලධාරින් අල්ලස් ඉල්ලන බවත්, අල්ලස් ලබා ගැනීම මගින් ඇතැම් පාරිසරික හානිකිරීම් නීත්‍යානුකූල කිරීමට කටයුතු කරන බවත්ය.

පරිසර අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන්නේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, GSMB ටෙක්නිකල් පුද්ගලික සමාගම හා කාබන් අරමුදලයි.
එමෙන්ම ඇතැම් පුද්ගලයින් විසින් සිදු කරන පරිසර හානිකිරීම්වල දී පොලිසිය හා අනිකුත් ආරක්ෂක අංශවල සහය ලබා ගනිමින් හදිසි වැටලීම් සිදු කිරීමට අතිගරු ජනාධිපත්තුමන් විසින් වැඩ පිළිවෙළක් සකසා ඇති නිසා ඊට සහයෝගය දැක්වීමට පරිසර අමාත්‍යාංශය තුළ ද මෙවැනි හදිසි විමර්ශණ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

එමනිසා මෙම විශේෂ විමර්ශණ ඒකකය කඩිනමින් ස්ථාපිත කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දෙනු ලැබීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *