ශ්‍රී දළදා වහන්සේ වැඩ හිඳුවීම සඳහා කමන්ත අමරසේකර මහතා ඇතුළු පවුලේ ඥාතීන් සහ හිතෛෂීන්ගේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් නව ස්වර්ණමය මහ කරඬුවක් පූජා කර ඇති බව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයාට දන්වා තිබේ.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහතික කරන ලද වාර්තාවට අනුව කිලෝග්‍රෑම් 65.224ක රත්තරන් ප්‍රමාණයකින් සහ කිලෝග්‍රෑම් 1.480ක මැණික් ගල්වලින් සමන්විත මෙම කරඬුවේ සම්පූර්ණ බර කිලෝග්‍රෑම් 86.04කි. දළදා වහන්සේ මෙතෙක් වැඩ හිඳුවන ලද, දෙවන විමලධර්මසූරිය රජු විසින් ආරම්භ කර කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ සම්පූර්ණ කරන ලද ඓතිහාසික රන් ආලේපිත රිදී කරඬුව එහි අනන්‍යතාවය සුරක්ෂිත වන පරිදි මාලිගාව තුළ අභ්‍යන්තරයේ තැන්පත් කර ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇති බවද එම සංදේශයේ සඳහන් වේ.














