ශ්‍රී ලංකාවේ සමස්ත ජාතික රුධිර අවශ්‍යතාව ස්වේච්ඡා රුධිර පරිත්‍යාග තුළින්ම සම්පූර්ණ කර ගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවාව (NBTS) සමත්ව ඇති බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි. පසුගිය 2025 වසර තුළ පමණක් රුධිර ඒකක 467,000ක් එකතු කර ගැනීමට හැකි වූ අතර, එමගින් රෝගීන් දස ලක්ෂයකට අධික සංඛ්‍යාවකගේ ජීවිත බේරා ගැනීමට හැකි වී තිබේ.
වෛද්‍ය එදිරිසිංහ මහතා පෙන්වා දෙන්නේ දිනකට රුධිර ඒකක 1,400ත් 1,500ත් අතර ප්‍රමාණයක් සහ පට්ටිකා (Platelets) ඒකක 700ත් 750ත් අතර ප්‍රමාණයක් රටේ අවශ්‍යතාව සඳහා පවතින බවයි. සතිපතා දත්ත විශ්ලේෂණය කරමින් අනාගත අවශ්‍යතාව පුරෝකථනය කරමින්, රුධිර පරිත්‍යාග මධ්‍යස්ථාන සමඟ සම්බන්ධීකරණයෙන් ඉතා ක්‍රමවත් අයුරින් මෙම සැපයුම් ජාලය පවත්වාගෙන යන බව ඔහු පැවසීය.
රුධිර සංරචකවල කල් තබා ගත හැකි කාලය සීමිත බැවින් අඛණ්ඩව රුධිර පරිත්‍යාග සිදුවීම අතිශය වැදගත් වේ. රතු රුධිරාණු දින 30ක් පමණ ගබඩා කළ හැකි වුවද, පට්ටිකා ගබඩා කළ හැක්කේ දින 7ක් වැනි කෙටි කාලයක් පමණි. පසුගිය වසරේ ඇති වූ ආපදා තත්ත්වයන් හමුවේ ද මහජනතාව රුධිර පරිත්‍යාග සඳහා දැක්වූ උනන්දුව අතිමහත් බවත්, එම කෙටි කාලය තුළ ඒකක 20,000කට අධික ප්‍රමාණයක් එකතු කර ගැනීමට හැකි වූ බවත් ඔහු සිහිපත් කළේය.
ලබන ජූනි 14 වැනිදාට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය “මානුෂීයත්වයේ එක් බිඳක්: රුධිරය පරිත්‍යාග කරන්න, දිවි සුරකින්න” යන තේමාව යටතේ සැමරීමට නියමිතය. එදිනට සමගාමීව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජාතික රුධිර පරිත්‍යාගශීලීන් ඇගයීමේ උත්සවයක් ද පැවැත්වේ.
















