ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තය මුහුණ දෙන ජාත්‍යන්තර අභියෝග ජය ගැනීම සහ ඉදිරි සැලසුම් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශයේදී සාර්ථකව පවත්වා තිබේ. මෙහිදී විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘301 විමර්ශනය’ (301 Investigation) සහ ඉන් මෙරට අපනයන ක්ෂේත්‍රයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. අදාළ තීරුබදු ගැටලු විසඳා ගැනීම සඳහා ඇමරිකානු බලධාරීන් සමඟ ඉතා සමීපව සහ සුබවාදීව කටයුතු කිරීමට රජය මෙහිදී ප්‍රතිඥා දී ඇත.
ඇමරිකානු රජය විසින් බලහත්කාර ශ්‍රමික සේවය සම්බන්ධයෙන් පනවා ඇති නව කොන්දේසි සහ ජාත්‍යන්තර වෙළෙඳ පනත් පිළිබඳව ශ්‍රී ලංකාවේ ස්ථාවරය මෙහිදී පැහැදිලි කෙරිණි. මේ වන විටත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර බලහත්කාර ශ්‍රමික සම්මුතීන් සඳහා අත්සන් තබා ඇති අතර, දේශීය නීති පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය පියවර ගනිමින් සිටී. මීට අමතරව, පවතින සියලුම වෙළෙඳ ගිවිසුම් සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති අතර ඒ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද අනුමත වී තිබීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් 40%ක්ම ඇමරිකා එක්සත් ජනපදයට සිදු කරන බැවින් එම වෙළෙඳපොළ ආරක්ෂා කර ගැනීම රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක වේ. 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 30ක අපනයන ඉලක්කයක් සපුරා ගැනීම රජයේ අරමුණයි. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ (JAAF) නියෝජිතයන් මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේ රජය දක්වන මෙම සක්‍රීය මැදිහත්වීම දේශීය කර්මාන්තකරුවන්ගේ විශ්වාසය තහවුරු කිරීමටත්, ගෝලීය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය රැක ගැනීමටත් විශාල ශක්තියක් වන බවයි.














