පවතින කාලගුණික තත්ත්වයන් හමුවේ වගා කටයුතුවලට එල්නිනෝ (El Niño) සංසිද්ධියෙන් කිසිදු බලපෑමක් ඇති නොවන බවත්, රට තුළ ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්. ඒ. ආර්. ටී. වික්‍රමාරච්චි මහතා පවසයි.
කෘෂිකාර්මික බෝග අපනයන ක්ෂේත්‍රයේ පවතින කාලීන ගැටලු සහ ඉදිරි පියවරයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා පළතුරු, එළවළු නිපදවන්නන්, සකසන්නන් සහ අපනයනය කරන්නන්ගේ සංගමය විසින් සංවිධානය කළ විශේෂ හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ආයතන නියෝජනය කරන විද්වතුන් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී කෘෂිකාර්මික අපනයන ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු විසඳා ගැනීම සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලීය.
















