සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ අභිවෘද්ධිය ඉලක්ක කරගනිමින්, රෝහල් සහ සෞඛ්‍ය ආයතන 17ක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අමාත්‍යාංශයේදී සිදු කෙරිණි. කාසල් වීදිය කාන්තා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, ජාතික අක්ෂි රෝහල සහ මාතර රෝහල ඇතුළු ප්‍රධාන ආයතන කිහිපයකට නව අධ්‍යක්ෂවරුන් පත් කිරීම මෙහිදී විශේෂත්වයක් විය.
නව පත්වීම් අතර කාසල් වීදිය කාන්තා රෝහලට විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම්. රාංග, ද සොයිසා කාන්තා (ශික්ෂණ) රෝහලට වෛද්‍ය සී.පෙරේරා, මහනුවර ශික්ෂණ රෝහලට වෛද්‍ය කේ.එම්. සෝමරත්න, ජාතික අක්ෂි රෝහලට වෛද්‍ය බී.අයි. කුරුකුලසූරිය සහ මාතර මහ රෝහලට වෛද්‍ය පී.පී. රණසිංහ යන මහත්වරුන් පත් කරන ලදී. මීට අමතරව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ ජාතික වැඩසටහන් කිහිපයක අධ්‍යක්ෂවරුන් ලෙසද නිලධාරීන් පිරිසක් පත්වීම් ලැබූහ.
උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය ගනු ලබන මෙම සියලු තීන්දු තීරණ කිසිදු දේශපාලන වාසියක් හෝ ජනප්‍රියත්වයක් බලාපොරොත්තුවෙන් නොගන්නා බවයි. ඉදිරි වසර කිහිපය තුළ සෞඛ්‍ය සේවාවේ ස්ථාවරත්වය සහ දියුණුව උදෙසා පමණක් මෙම පත්වීම් සිදු කර ඇති බවත්, මීට පෙර සිදුකළ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පත්වීම් 09 ද මෙම ක්‍රියාවලියේම කොටසක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. තවද, රාජ්‍ය ප්‍රතිපත්තිය ජනතාව වෙනුවෙන් උපරිම කැපවීමකින් ක්‍රියාත්මක කරන ලෙසත්, ආයතන ප්‍රධානීන් ලෙස අධ්‍යක්ෂවරුන්ට මින් පෙර නොතිබුණු බලතල ලබා දෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, අධ්‍යක්ෂවරුන් ලෙස රෝහල්වල විශාල වගකීමක් පවතින බවයි. සියලු දෙනා සමඟ සුහඳව, කළමනාකරණ හැකියාවෙන් යුතුව කටයුතු කරමින්, අවශ්‍ය විටෙක සෘජු තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම ඒ මහතා උදාහරණ සහිතව පැහැදිලි කර දුන්නේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















