නීති සම්පාදන ක්‍රියාවලිය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කිරීම පිළිබඳ විශේෂ වැඩමුළුවක් ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති අතර, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් (VASPs) නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සකස් කිරීමේදී මෙම තාක්ෂණය ප්‍රථම වරට පර්යේෂණාත්මකව (Pilot project) භාවිතා කිරීමට යෝජනා වී තිබේ.
“වඩා හොඳ නීති සම්පාදනයක් සඳහා වඩා හොඳ මෙවලම්” (Better Tools for Better Lawmaking) මැයෙන් යුත් මෙම වැඩමුළුව අගෝස්තු 21 වන දින නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේදී පවත්වන ලදී. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech ශ්‍රී ලංකා ආයතනය එක්ව මෙය සංවිධානය කර තිබුණි.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයේදී රටේ නීති සම්පාදන ක්‍රියාවලියට AI තාක්ෂණය ඒකාබද්ධ කිරීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරිපත් කරන ලදී. එහි මූලික පියවරක් ලෙස, අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ කටයුතු සඳහා AI තාක්ෂණය භාවිතා කිරීමට නිලධාරීන් යෝජනා කර ඇත.
එමෙන්ම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ලේඛන සකස් කිරීම, තහවුරු කිරීම සහ නීති සම්පාදන කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය ආශ්‍රිත මෙවලම් ප්‍රායෝගිකව භාවිතා කරන ආකාරයද මෙම වැඩමුළුවේදී ප්‍රදර්ශනය කෙරිණි. දත්ත සූදානම, ආරක්ෂණ විධිවිධාන සහ මෙම පර්යේෂණාත්මක ව්‍යාපෘතිය ඉදිරියට ගෙනය යාමට අවශ්‍ය ඉදිරි පියවර පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇත.
ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක සහ GovTech ශ්‍රී ලංකා සභාපති ආචාර්ය හੰස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ.
















