ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු Kfir ප්‍රහාරක ජෙට් බළඇණිය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරුණු ප්‍රථම Kfir C12 ප්‍රහාරක ජෙට් යානයේ පරීක්ෂණ පියාසැරිය ඊයේ (11) කටුනායක ගුවන් හමුදා කඳවුරේදී සාර්ථකව සිදු කෙරිණි.
මෙම නවීකරණ වැඩසටහන ඊශ්‍රායලයේ Israel Aerospace Industries (IAI) ආයතනය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ ව්‍යාපෘතියකි. ඒ යටතේ දැනට පවතින Kfir C2, C7 යානා සහ TC2 පුහුණු යානා නවීනතම C12 තාක්ෂණික ප්‍රමිතිය දක්වා උසස් කෙරේ. මෙම නවීකරණයත් සමඟ Kfir C12 යානය සැබෑ බහුකාර්ය (Multi Role) ප්‍රහාරක යානයක් බවට පරිවර්තනය වී ඇත.
නවීකරණය කරන ලද Kfir C12 යානය නවීන Digital Glass Cockpit පද්ධතියක් මගින් නියමු කාර්යභාරය සරල කර මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවන අතර, වැඩිදියුණු කළ සංවේදක සහ Multi-mode Radar හැකියාවන් මගින් ඉලක්ක හඳුනාගැනීමේ සහ තත්ත්ව දැනුවත්භාවය වර්ධනය කර ඇත. එමෙන්ම නවීන Navigation, Communication සහ Network-centric පද්ධති හරහා මෙහෙයුම් නිරවද්‍යතාව ශක්තිමත් කර ඇති අතර, Precision Weapon Integration සහ Advanced Weapons Management Systems මගින් ගුවනේ සිට ගුවනට (Air-to-Air) සහ ගුවනේ සිට ගොඩබිමට (Air-to-Ground) ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.
මෙම යානය ඉදිරියේදී විවිධ උස මට්ටම් යටතේ තවත් පරීක්ෂණ පියාසැරි කිහිපයකට යොමු කෙරෙනු ඇත. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ යන මහත්වරුන්ගේ නිරීක්ෂණය යටතේ මෙම පළමු පරීක්ෂණ පියාසැරිය සාර්ථකව නිම කෙරිණි.
















