මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MINUSCA) අනුයුක්තව සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණිය, සතුරු ප්‍රහාර මධ්‍යයේ අතිශය අවදානම් සහගත ජීවිත ගලවාගැනීමේ මෙහෙයුමක් (CASEVAC) සාර්ථකව නිම කරමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්විය.
ජූනි 30 වන දින ‘අම් ඩැෆොක්’ (Am Dafok) ප්‍රදේශයේදී සැම්බියානු සාමසාධක භටයන් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් පසුව මෙම මෙහෙයුම දියත් කෙරිණි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ සැම්බියානු සෙබළුන්, සිවිල් වැසියන් සහ එරට ආරක්ෂක අංශ සාමාජිකයන් මුදාගැනීම සඳහා පකිස්ථාන ගුවන් හමුදාවේ සහාය ලබා ගැනීමට මුලින් උත්සාහ කළද, අයහපත් කාලගුණය හේතුවෙන් එය අසාර්ථක විය.
අනතුරුව සාමසාධක බලකායේ ප්‍රධාන අණදෙන නිලධාරියාගේ උපදෙස් මත මෙම අභියෝගාත්මක මෙහෙයුම ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර කෙරිණි. ශ්‍රී ලංකා බලඇණියේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය, කාලගුණික බාධක නොතකමින් සතුරු වෙඩි ප්‍රහාර මධ්‍යයේ සිය මෙහෙයුම දියත් කළහ.
එක්සත් ජාතීන්ගේ සාමසාධක ගුවන් මෙහෙයුම් ඉතිහාසයේ, හදිසි මෙහෙයුමකදී එකවර තුවාලකරුවන් 14 දෙනෙකු ආරක්ෂිතව ගලවාගත් පළමු අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රදර්ශනය කළ මෙම සුවිශේෂී වීරත්වය සහ මානුෂීය මෙහෙයුම මේ වනවිට එක්සත් ජාතීන්ගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ.














