මෙම වසරේ ගතවූ මුල් මාස අටක කාලය තුළ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළ හරහා සිදු වූ සමස්ත ගුවන් යානා මෙහෙයුම් සංඛ්‍යාව සියයට 9කින් පහළ ගොස් ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ දත්ත අනාවරණය කරයි.
ජනවාරි 01 වැනිදා සිට අගෝස්තු 31 වැනිදා දක්වා කාලය තුළ මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිතව ගුවන් යානා මෙහෙයුම් 40,111ක් සිදුව ඇති අතර, ඉන් 38,524ක් නිත්‍ය කාලසටහන්ගත ගුවන් ගමන් වන අතර 1,587ක් කාලසටහන්ගත නොවූ ගුවන් ගමන් වේ.
සැසඳීමේදී පෙර වසරේ සමාන කාලසීමාවේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පමණක් ගුවන් යානා මෙහෙයුම් 44,185ක් වාර්තා වී තිබූ අතර, මෙවර එය 4,074කින් අඩු වී තිබේ.
පසුගිය පෙබරවාරි මාසයේදී මැදපෙරදිග කලාපයේ ඇති වූ යුදමය නොසන්සුන්තාව මෙම ගුවන් ගමන් සංඛ්‍යාව පහත වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව අදාළ දත්ත වාර්තාව පෙන්වා දෙයි.
මේ අතර, මාස අටක කාලය තුළ මෙරට ගුවන්තොටුපොළ පද්ධතිය භාවිත කළ සමස්ත ගුවන් මගීන් සංඛ්‍යාව 6,439,213ක් ලෙස වාර්තා වී ඇත.
එම කාලය තුළ ගුවන්තොටුපොළ හරහා ප්‍රවාහනය කර ඇති සමස්ත ගුවන් භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 144,713ක් වන අතර, ඉන් මෙට්‍රික් ටොන් 89,470ක් අපනයන භාණ්ඩ ලෙසත්, මෙට්‍රික් ටොන් 55,243ක් මෙරටට ගොඩබෑ භාණ්ඩ ලෙසත් වාර්තා වී තිබේ.
















