පවතින ඉන්ධන ගැටලුව විසඳමින් ඉන්ධන පිරවුම්හල් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීමට රජය කඩිනමින් පියවර ගත යුතු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා සඳහන් කළේ විශේෂයෙන් විදේශීය සමාගම් සතු ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය පරිදි ඉන්ධන නොලැබීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවයි.
ඉන්ධන අලෙවියෙන් ලැබෙන ආදායම මත පිරවුම්හල් පවත්වාගෙන යන බැවින්, ඉන්ධන නොලැබීම හේතුවෙන් විදුලි බිල්, සේවක වැටුප්, බැංකු ණය ඇතුළු වියදම් පියවා ගැනීම දුෂ්කර වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
විදේශීය ඉන්ධන සමාගම් සමඟ සාකච්ඡා කර පවතින ගැටලුව කඩිනමින් විසඳීමට රජය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපතිවරයා සඳහන් කළේය.
මේ අතර, දැනට ඉන්ධන ලැබෙන පිරවුම්හල් මගින් එම ඉන්ධන කඩිනමින් පාරිභෝගිකයන් වෙත ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.














