එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි ආචාර්ය අරුෂා කුරේ මහත්මිය, අබුඩාබි නුවර කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික පුනර්ජනනීය බලශක්ති නියෝජිතායතනයේ (IRENA) ප්‍රථම ශ්‍රී ලංකා ස්ථිර නියෝජිතවරිය ලෙස නිල වශයෙන් පත් වී තිබේ.
අබුඩාබිහි මස්දාර් සිටිහි පිහිටි එම නියෝජිතායතනයේ මූලස්ථානයේදී, එහි අධ්‍යක්ෂ ජනරාල් ෆ්‍රැන්චෙස්කෝ ලා කැමරා මහතා වෙත ඇය සිය අක්තපත්‍ර පිළිගන්වා ඇත. ශ්‍රී ලංකාව මෙලෙස IRENA ආයතනය සමඟ සක්‍රියව කටයුතු කිරීමට ගත් තීරණය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඇගයීමට ලක් විය.
මෙම හමුවේදී ආචාර්ය අරුෂා කුරේ මහත්මිය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් උදෙසා ශ්‍රී ලංකාව දක්වන කැපවීම තහවුරු කළාය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳව කරුණු පැහැදිලි කළ තානාපතිනිය, එම කටයුතු සඳහා IRENA ආයතනයේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළාය. ඊට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ශ්‍රී ලංකාවට සිය උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික විය.
එමෙන්ම, ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම සහ තාක්ෂණික දැනුම හා දත්ත හුවමාරු කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවට නිල සංචාරයක නිරත වන ලෙස ඇය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ආරාධනා කර තිබේ.















