මෙරට චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින්, විදේශීය චිත්‍රපට සහ රූගත කිරීම් සඳහා වන අනුමැති ක්‍රියාවලිය සරල කරමින් ‘Single Window’ (එකම ජනේලයක් හරහා අනුමැතිය ලබා දීමේ) ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බළකා රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
මෙම නව ක්‍රමවේදය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වන්නේ දැනට විදේශීය චිත්‍රපට, වාර්තා වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් සහ ගීත නිෂ්පාදනය සඳහා අනුමැතිය ලබා ගැනීමට රාජ්‍ය ආයතන කිහිපයකට යාමට සිදුවීම හේතුවෙන් පවතින දීර්ඝ හා ප්‍රමාදිත ක්‍රියාවලිය මඟ හරවා ගැනීමයි. ඒ හරහා ශ්‍රී ලංකාව රූගත කිරීම් සඳහා ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස ස්ථාපිත කිරීම සහ චිත්‍රපට කර්මාන්තයේ තරගකාරිත්වය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
සාකච්ඡාවේදී යෝජිත යන්ත්‍රණය පිළිබඳ පොදු එකඟතාවකට පැමිණීම, මතු විය හැකි අභියෝග හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීම සහ එය ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත කාලරාමුවක් සකස් කිරීම පිළිබඳව පුළුල් අවධානයක් යොමු විය. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක අංශ ප්‍රධානීන්, ජාතික චිත්‍රපට සංස්ථාවේ නිලධාරීන්, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජිතයන් සහ අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසක් එක්ව සිටියහ.















