ඉතියෝපියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත්කරනු ලැබූ නිර්මලා ඉන්දුමතී දයස් පරණවිතාන මහත්මිය, අඩිස් අබාබාහි පිහිටි ජාතික මාලිගයේදී එරට ජනාධිපති තායේ අත්ස්කේ සෙලාසි මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
මෙම අවස්ථාවෙන් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ඉතියෝපියානු ජනාධිපතිවරයා, පසුගිය දශකවලදී ඉතියෝපියාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය නඟාසිටුවීමට ශ්‍රී ලාංකික ගුරුවරුන් ලබා දුන් දායකත්වය කෘතවේදීව සිහිපත් කළේය. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම පූර්ණ සහයෝගය ලබා දෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.
නව තානාපතිනිය එහිදී සඳහන් කළේ, දේශපාලන, ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ සංචාරක යන ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව පුළුල් කිරීමට සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි. අප්‍රිකානු සංගමයේ මූලස්ථානය පිහිටි ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික කේන්ද්‍රස්ථානයක් ලෙස ඉතියෝපියාවේ වැදගත්කමද ඇය මෙහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකා විදේශ සේවයේ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන පරණවිතාන මහත්මිය ජපානය, ස්වීඩනය, මියන්මාරය, ඉන්දියාව සහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ඇතුළු රටවල් රැසක විවිධ තනතුරු හොබවා ඇති අතර, ජාත්‍යන්තර නීතිය සහ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ ඉහළ ශාස්ත්‍රීය පසුබිමක් සහිත අත්දැකීම් බහුල නිලධාරිනියකි.














