ඉන්දුනීසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනී ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, ජකර්තා නුවර ‘ඉස්තානා මෙරඩේකා’ ජනාධිපති මන්දිරයේදී ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ.
උත්කර්ෂවත් උත්සවයකින් අනතුරුව ජනාධිපතිවරයා හමුවූ තානාපතිනිය, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් පිරිනැමූ අතර දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සිය කැපවීම ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම 2027 වසරේදී සමරනු ලබන ශ්‍රී ලංකා – ඉන්දුනීසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 75 වැනි සංවත්සරය ඉලක්ක කර ගනිමින් නව සහයෝගිතා ක්ෂේත්‍ර ගවේෂණය කිරීම තම අපේක්ෂාව බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
නව තානාපතිනිය වෙත සුබපැතුම් එක් කළ ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ මහතා, ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි විශ්වාසය පළ කළේය.
වසර 28කට අධික සේවා කාලයක් හිමි ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, සිංගප්පූරුවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙසත් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරිනියකි. ඇය ආර්ථික විද්‍යාව සහ ගැටුම් හා සාමය අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රීය සුදුසුකම් සහිත, කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.
















