27 April 2024
#ව්‍යාපාර

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැඩි සබඳතා – ඇමැති විමල්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දැඩි සම්බන්ධතාවක් පවතින බවත් කාර්මික අංශය සැලකුවහොත් දෙරට අතර රෙදිපිළි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයෙහි දැඩි සබඳතා පවතින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා ඉන්දුනීසියාවේ පැවති කාර්මික සංවර්ධනය පිළිබඳ දෙවැනි ආසියා පැසිපික් කලාපීය සමුළුවට සමගාමීව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍ය නුරුල් මජිඩ් මහ්මඩ් හුමායන්(Nurul Majid Mahmud Humayan) මහතා සමග ජකර්තාහි ෆෙයාර්මොන්ට් හෝටලයේදී ද්විපාර්ශ්වික සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ බංගලාදේශ කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවේ එරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් සේවයේ යෙදී සිටීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් දෙරට එක්ව කටයුතු කර වෙළඳාම හා ආයෝජන වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු වියයුතු බව ය.

ඒ අනුව විමල් වීරවංශ මහතා එම නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා දෙරට අතර ඉහත කී ආකාරයේ ගිවිසුම්ගත ඒකාබද්ධ යාන්ත්‍රණයක වැදගත්කම පෙන්වා දෙමින් එය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවත් සඳහන් කළේය.

එසේම මෙහිදී ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරියෙන් සිටින බංග්ලාදේශයට මෙරට එම කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයෝජනය සඳහා ඇරයුම් කිරීමට මෙය අවස්ථාවක් කරගන්නා බව ද කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ කෙරෙහි බංග්ලාදේශ රජයේ අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා බව බංග්ලාදේශ කර්මාන්ත අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙහිදී අමාත්‍යවරුන් අතර සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සංවර්ධන) මහේෂ් අබේසේකර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රථම ලේකම් දිලිනි ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *