ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙරට අතර දේශපාලන උපදේශනවල දෙවැනි වටය තුර්කියේ අන්කාරාහිදී සාර්ථකව පවත්වා තිබේ. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ තුර්කි විදේශ අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති ජිහාඩ් ඇග්නයි මහතා මෙහි සම-සභාපතිත්වය දරා ඇත.
මෙම සාකච්ඡාවලදී ආර්ථික සහ ආයෝජන ක්ෂේත්‍රය යටතේ ඖෂධ, පුනර්ජනනීය බලශක්තිය, සංචාරක සහ තාක්ෂණික අංශවල ආයෝජන මෙන්ම ඒකාබද්ධ ව්‍යාපාර පුළුල් කිරීම පිළිබඳව දීර්ඝව අවධානය යොමු විය. සමුද්‍රීය සහ ගුවන් සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් ඉස්තාන්බුල් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් වාර වැඩිදියුණු කිරීම සහ නීල ආර්ථිකය (Blue Economy) තුළ සහයෝගීතාව ගවේෂණය කිරීමට ද මෙහිදී එකඟතාව පළ විය.
එසේම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කිරීම මෙන්ම වෘත්තීය පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ ක්ෂේත්‍රවල හවුල්කාරිත්වය ඇති කර ගැනීම පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළහ. මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු තුර්කි රජය ලබාදුන් මානුෂීය සහය පිළිබඳව ශ්‍රී ලංකාවේ කෘතඥතාව පළ කළ අතර ඉදිරි සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහාය ලබා ගැනීමට ද අපේක්ෂිතය.
දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා නව මානයකට රැගෙන යමින්, කලාපීය සහ ගෝලීය වශයෙන් පවතින පොදු අභියෝග ජය ගැනීමට එක්ව කටයුතු කිරීමට දෙපාර්ශ්වයම මෙහිදී ප්‍රතිඥා දුන්හ. මෙම සාකච්ඡා මාලාව සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති නිලූක කදුරුගමුව මහතා ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.














