ස්මාර්ට් ජංගම දුරකථන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් බැංකු ගිණුම්වල ඇති මුදල් කොල්ලකෑමේ අරමුණින් ක්‍රියාත්මක වන නවතම ඩිජිටල් වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ. මෙහිදී හැකර්වරුන් විසින් WhatsApp හෝ Telegram වැනි සමාජ මාධ්‍ය ඔස්සේ මංගල ආරාධනා පත්‍ර, විදුලි බිල්පත් හෝ දිනුම් ඇදීම් වැනි නම්වලින් පෙනී සිටිමින් .apk දිගුව සහිත ගොනු පරිශීලකයන් වෙත යොමු කරනු ලබයි. යම් හෙයකින් ඔබ මෙම ගොනුවක් ක්ලික් කළහොත් එය ඔබගේ දුරකථනයට මෘදුකාංගයක් ලෙස ස්ථාපනය වන අතර ඉන්පසු ඔබගේ දුරකථනයේ සම්පූර්ණ පාලනය හැකර්වරුන් සතු වේ. මෙහි වඩාත්ම භයානක තත්ත්වය වන්නේ ඔබගේ දුරකථනයට ලැබෙන OTP කේතයන් සහ SMS පණිවිඩ ඔබ නොදැනුවත්වම කියවීමට ඔවුන්ට අවස්ථාව ලැබීම වන අතර එමගින් ඔබගේ බැංකු ගිණුම්වල ඇති මුදල් ඉතා කෙටි කාලයකදී සොරකම් කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.
මෙම වංචාවෙන් ආරක්ෂා වීම සඳහා මිතුරෙකුගේ නමින් ලැබුණ ද සැකකටයුතු .apk ගොනු කිසිවිටෙකත් බාගත කිරීම හෝ විවෘත කිරීම සිදු නොකළ යුතු බව පොලිසිය අවධාරණය කරයි. සැමවිටම ජංගම යෙදුම් බාගත කිරීම සඳහා Google Play Store හෝ Apple App Store පමණක් භාවිතා කළ යුතු අතර දුරකථන සැකසුම් තුළ ඇති Install Unknown Apps යන විකල්පය අක්‍රිය කර තැබීම ද ඉතා වැදගත් වේ. යම් හෙයකින් ඔබ මෙවැනි වංචාවකට හසු වූ බව දැනුණහොත් වහාම ඔබගේ බැංකු ගිණුම් අත්හිටුවීමට පියවර ගත යුතු අතරම ඒ පිළිබඳව වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටී.














