ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත් වූ මහාචාර්ය ෆසීහා අස්මි (Prof. Fazeeha Azmi) මහත්මිය පසුගිය ජුනි 30 වැනිදා ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරි ආරම්භ කර තිබේ. ඇය ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් වූ ප්‍රථම කාන්තා රාජ්‍ය තාන්ත්‍රිකවරිය ලෙස ඉතිහාසයට එක්වේ.
තානාපති කාර්යාල කාර්ය මණ්ඩලය අමතමින් ඇය කියා සිටියේ, ඉරානය සමඟ පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට අමතරව ඇය අනුයුක්ත කර ඇති අසර්බයිජානය සහ ටර්ක්මෙනිස්තානය යන රටවල් සමඟ ද සබඳතා පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවයි. විශේෂයෙන්ම වෙළෙඳාම, රැකියා අවස්ථා, අධ්‍යාපනය, ඖෂධ නිෂ්පාදනය, සංස්කෘතික සහයෝගිතාව සහ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමට කටයුතු කරන බව පෙන්වා දුන් තානාපතිනිය, ඉරාන සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කරගැනීමට විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන බව ද අවධාරණය කළාය.
මෙම ධුරයට පත්වීමට පෙර ඇය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්යවරියක ලෙස කටයුතු කළාය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය නෝර්වේජියානු විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් එම්.ෆිල් (M.Phil) සහ ආචාර්ය (Ph.D) උපාධි ලබා ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, නෝර්වේ, ෆීජි සහ කැනඩාව යන රටවල අධ්‍යයන ක්ෂේත්‍රයේ දශක දෙකකට අධික පළපුරුද්දක් සහිත ප්‍රවීණයෙකි.
















