රාජ්‍යතාන්ත්‍රික සේවයේ නියුතු කාන්තාවන්ගේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සේවය කරන කාන්තා තානාපතිවරියන් සහ කාන්තා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ විශේෂ හමුවක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගියදා පවත්වන ලදි. ලෝක සාමය, ආරක්ෂාව සහ තිරසර සංවර්ධනය සඳහා කාන්තාවන් ලබා දෙන සුවිශේෂී දායකත්වය ඇගයීම මෙන්ම ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන්ගේ සමාන නියෝජනය ප්‍රවර්ධනය කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.
මෙම අවස්ථාවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පිළිගැනීමේ දේශනය සිදු කළාය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිනිය සහ රාජ්‍යතාන්ත්‍රික බලකායේ ප්‍රධානී ඩිවි ගුස්ටිනා ටොබිං (Dewi Gustina Tobing) මහත්මිය සඳහන් කළේ, ලොව පළමු අග්‍රාමාත්‍යවරිය ලංකාවෙන් බිහි වීම මෙරට කාන්තා නායකත්වය සම්බන්ධයෙන් වැදගත් සන්ධිස්ථානයක් වන අතර, වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ අගයක් ගැනීම අගය කරන බවයි.
මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් සහ කාන්තා තානාපතිවරියන් අතර දේශපාලනය, රාජ්‍ය පාලනය සහ රාජ්‍යතාන්ත්‍රික සේවය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීම සිදු විය. අනතුරුව ආරාධිත රාජ්‍යතාන්ත්‍රික පිරිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ සංචාරයක නිරත වූ අතර, සභා ගර්භයේ විශේෂ නිවේදනයක් ද සිදු කරමින් ඔවුන්ව පිළිගෙන සැසිවාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමට ද අවස්ථාව සලසා දී තිබුණි. මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.
















