ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය වත්කම් (Virtual Assets) සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් නියාමනය කිරීම සඳහා අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හඳුන්වා දීමට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාව මෙලෙස අනුමත වී ඇත්තේ මූල්‍ය පද්ධතිය තුළ මූල්‍ය අපරාධ වැළැක්වීමේ ජාතික අවශ්‍යතාව සලකා බලමිනි.
මෙම නියාමන රාමුව යටතේ අතථ්‍ය වත්කම් සහ අතථ්‍ය වත්කම් සේවා සපයන්නන් සඳහා නියාමන බලධරයා ලෙස ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නම් කිරීමට යෝජනා කර ඇත.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සභාපතිත්වයෙන් යුත් උප කමිටුවක් මඟින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව, මූල්‍ය බුද්ධි ඒකකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එක්ව සම්බන්ධීකරණය කරන ලද අධීක්ෂණ ව්‍යුහයක් මෙම ක්‍රියාවලිය සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ වන විට මෙරට පරිශීලකයින් අක්වෙරළ හුවමාරු සහ අවිධිමත් මාර්ගගත වේදිකා හරහා කිසිදු නියාමන බල රාමුවකට යටත් නොවී ක්‍රිප්ටෝ වැනි ඩිජිටල් වත්කම් වෙළෙඳාම් කිරීමේ සහ මාරු කිරීමේ යෙදී සිටී. මූලික අනුකූලතා බැඳීම් හෝ වාර්තාකරණ ප්‍රමිතීන් නොමැතිවීම හේතුවෙන් මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය වැනි අවදානම් ඉහළ ගොස් ඇති පසුබිමක, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීමේ ජාතික කමිටුවේ මාර්ගෝපදේශ මත මෙම නියාමන ක්‍රියාමාර්ග ගෙන තිබේ.














