ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවේ ආරම්භය සනිටුහන් කරමින් සාම්ප්‍රදායික ධජයන්ට සෙත් පැතීමේ උත්සවයක් අද (24) පෙරවරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී පැවැත්වුණා.
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා රෙජිමේන්තු සහ ඒකක නියෝජනය කරමින් සාමාජිකයන් එක්ව සිටියා.
පාරම්පරික සිරිත් විරිත්වලට මුල්තැන දෙමින් සංස්කෘතික පෙරහැරකින් යුද්ධ හමුදා ධජය, රෙජිමේන්තු ධජ සහ ඒකක ධජ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වැලිමළුව වෙත රැගෙන ගොස් තිබෙනවා. අනතුරුව එම ධජ උඩමළුව වෙත රැගෙන ගොස් බෝධීන් වහන්සේ වටා තැන්පත් කර විශේෂ ආශීර්වාද පූජාවක් පවත්වා තිබුණා.
මහා සංඝරත්නය විසින් පිරිකර පූජා සහ සෙත් පිරිත් සජ්ඣායනා පවත්වමින් මාතෘභූමිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, තුවාල ලැබූ රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් සිදුකර තිබෙනවා. එමෙන්ම දැනට සේවයේ නියුතු සියලුම යුද්ධ හමුදා සාමාජිකයන් සහ සමස්ත යුද්ධ හමුදාව වෙනුවෙන් ආශීර්වාද කිරීමද මෙහිදී සිදුකර තිබුණා.














