දේශයේ අනාගත පරපුර වෙනුවෙන් පරිසරය සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සංවිධානය කරන “හුස්මෙන් හුස්මක් – විරු තුරු සෙවණ” ජාතික හරිත මෙහෙයුම දිවයින පුරා ඊයේ (22) සාර්ථකව ආරම්භ විය. යුද්ධ හමුදා ආරක්ෂක සේනා මූලස්ථාන මඟින් දිස්ත්‍රික්ක රැසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ රෝපණ ව්‍යාපෘතිය එළඹෙන ජුනි මස 04 වැනිදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට සැලසුම් කර තිබේ.
මෙම හරිත මෙහෙයුම දේශයේ නිදහස වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන්ට මෙන්ම, මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ජීවිත අහිමි වූ ලාංකික පුරවැසියන්ට කෙරෙන ජීවමාන උපහාරයක් ලෙස ක්‍රියාත්මක වේ. එමෙන්ම සුළි කුණාටුවෙන් සිදු වූ දැවැන්ත පාරිසරික හානිය යළි ප්‍රකෘතිමත් කරමින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික මෙහෙවරෙහි අරමුණු සාක්ෂාත් කරගැනීම ද මෙහි ප්‍රධාන අරමුණකි. මෙම උදාර කාර්යය සඳහා මියගිය පිරිස්වල ළඟම ඥාතීන් ද ඍජුවම දායක කරගැනීම සුවිශේෂී වේ.
වැඩසටහන් මාලාවේ නිල සමාරම්භක උත්සවය කුරුණෑගල, ගනේවත්ත ඔසු උයනේදී පැවැත්වුණු අතර, ඒ සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සහභාගී විය. එහිදී දිවයින පුරා ක්‍රියාත්මක වන වැඩසටහනට සංකේතාත්මක ප්‍රවේශයක් ලබාදෙමින් පැළ 300ක් රෝපණය කිරීම සිදු කෙරිණි. රටේ ආරක්ෂාව මෙන්ම පරිසරය සුරැකීම ද තම වගකීමක් ලෙස සලකන යුද්ධ හමුදාව, මතු පරපුරට ස්වාභාවික ව්‍යසනයන්ගෙන් තොර, සෞභාග්‍යමත් සහ නිරෝගී හරිත දේශයක් දායාද කිරීම වෙනුවෙන් මෙම මෙහෙයුම දියත් කර ඇති අතර, මෙය සාර්ථක කරගැනීම සඳහා රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් ඇතුළු සිවිල් ජනතාවගේ පූර්ණ සහයෝගය ද අපේක්ෂා කෙරේ.














