2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව, සියලුම අදාළ රාජ්‍ය නිලධාරීන් සහ අදාළ පාර්ශ්වයන් තම වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ජූනි 30 වන දිනට පෙර අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා අවධාරණය කරයි.
මෙවර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී සාම්ප්‍රදායික කඩදාසි පෝරම භාවිතා කළ නොහැකි අතර, ඒ සඳහා හඳුන්වා දී ඇති මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතිය (Centralized Electronic System) හරහා පමණක් එම ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. මෙම පද්ධතිය 2026 මාර්තු 31 වන දින එළිදක්වා ඇති නමුත්, මේ දක්වා ලියාපදිංචි වී ඇති පිරිස ඉතා අඩු මට්ටමක පවතින බව කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇත.
නියමිත දිනට පෙර වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමට අපොහොසත් වන පුද්ගලයින්ට දරාගත නොහැකි තරම් ඉහළ දඩ මුදල් ගෙවීමට මෙන්ම, ඔවුන්ට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටද දූෂණ විරෝධී පනත යටතේ ප්‍රතිපාදන පවතී.
මෙම නව නීතිමය තත්ත්වය යටතේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු නව නිලධාරී කාණ්ඩ කිහිපයක්ද නම් කර ඇත. ඒ අතර ලියාපදිංචි වෘත්තීය සමිතිවල විධායක නිලධාරීන්, පුවත්පත් හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, බලපත්‍රලාභී විකාශන සමාගම්වල හිමිකරුවන්, කර්තෘවරුන් සහ කර්තෘ මණ්ඩල සාමාජිකයන්, ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සහ රේගු ආඥා පනත යටතේ බලපත්‍රලාභී රේගු නියෝජිතයන් ඇතුළත් වේ.
තමන් වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු අයෙකුද යන්න පිළිබඳ සැකයක් පවතී නම්, වහාම තම ආයතන ප්‍රධානීන්ගෙන් ඒ පිළිබඳව විමසා දැනගන්නා ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දෙයි.
වැඩිදුර තොරතුරු සඳහා 1954 යන කෙටි දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය. කිසියම් අපැහැදිලි තත්ත්වයක් පවතී නම් 0767011954 හෝ 0112587287 යන දුරකථන අංක ඔස්සේ වත්කම් බැරකම් ප්‍රකාශ අංශය සම්බන්ධ කරගත හැකි බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.
















