වසර 25කට අධික කාලයක් සංශෝධනයට ලක් නොවූ ජාතික පාරිසරික පනත සංශෝධනය කරමින් නව පනත් කෙටුම්පත ලබන ජූනි 24 වන දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිත බව පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා නිවේදනය කරයි. මෙය මෙරට පාරිසරික ක්ෂේත්‍රයේ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම සංශෝධිත පනත මගින් පරිසරය සුරැකීම සම්බන්ධයෙන් වැදගත් නීතිමය වෙනස්කම් සහ නව ප්‍රතිපාදන හඳුන්වා දී ඇත. ඒ අනුව පරිසරය සුරැකීම සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන සතු වගකීම නීත්‍යනුකූලව තහවුරු කර ඇති අතර, විධාන පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරියට බලය පැවරේ. අධිකරණ නියෝග කඩ කරන ආයතනවලට එරෙහිව ඉහළ දඩ මුදල් පැනවීමට මහේස්ත්‍රාත්වරයාට බලය හිමිවේ.
එසේම පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරක් වළක්වා ගැනීමට අපොහොසත් වීම මත බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට හැකියාව ලැබේ. කර්මාන්තයක් තාවකාලිකව වසා දැමීමේ ආඥා ලබා ගැනීමේ බලයද මෙහි අන්තර්ගත වේ. උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණය සඳහා නව පරිච්ඡේදයක් හඳුන්වා දී ඇති අතර, තාක්ෂණික විද්වත් කමිටු අධීක්ෂණය යටතේ දැඩි නීතිරීති ක්‍රියාත්මක වේ.
පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තා සඳහා අසත්‍ය තොරතුරු සැපයීම සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර ඇත. එසේම, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේදී උපාය මාර්ගික පාරිසරික ඇගයීම් අනිවාර්ය කෙරේ. භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරන නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම සංකල්පය මෙරට නීතියට එක් කෙරේ. තෙත්බිම් සුරැකීම සඳහා විශේෂිත නව නීති පද්ධතියක් ද හඳුන්වා දී ඇත.
මෙම පනත කෙටුම්පත් කිරීමේදී පරිසරවේදීන්, විද්වතුන්, නීතිවේදීන් සහ සිවිල් සමාජ නියෝජිතයන් සමඟ පුළුල් සාකච්ඡා පවත්වා ඇති බවත්, මෙය මතු පරපුර උදෙසා තිරසාර පරිසර පද්ධතියක් උරුම කර දීමේ අරමුණින් සිදු කෙරෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















