චීනයේ ඕඩර්ස් නුවරදී පැවැති පළමු වැනි වයස අවුරුදු 23න් පහළ ආසියානු මළල ක්‍රීඩා ශූරතා තරගාවලියට සහභාගි වී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස ඊයේ (14) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්, දෙමාපියන් සහ හිතවතුන් පිරිසක් එක්ව සිටියහ.
ආසියානු කලාපයේ රටවල් 43ක සහභාගීත්වයෙන් පසුගිය ජූලි 08 වැනි දින සිට 12 වැනි දින දක්වා මෙම තරගාවලිය පැවැත්විණි. එහිදී අත්කරගත් ජයග්‍රහණ පහත පරිදි වේ:
අයෝමාල් අකලංක ලියනගේ පිරිමි මීටර් 400 කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කම දිනා ගත්තේය.
ජිත්මා විජේතුංග කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
නෙත්මිකා මධුෂානි කාන්තා තුන් පිම්ම ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.
















