ශ්‍රී ලංකා රජය ඕස්ට්‍රේලියාවට ගෙවිය යුතු ණය වාරිකයකට අදාළ ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සයිබර් ප්‍රහාරයක් මගින් සොරකම් කර ඇති බව අනාවරණය වී තිබේ. මෙම දැවැන්ත මූල්‍ය වංචාව පිළිබඳව මෙරට බලධාරීන් දැනුවත් වී ඇත්තේ අදාළ ණය වාරිකය ලැබීම ප්‍රමුදිත වී ඇති බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් කරන ලද දැනුම් දීමකින් පසුව බව විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මූල්‍ය අධීක්ෂණ පද්ධතියේ පවතින බරපතළ දුර්වලතා මෙමගින් මනාව පිළිබිඹු වන බව ඔහු පෙන්වා දෙයි.
මෙම සිදුවීමට අදාළව කරුණු විමසීම සඳහා පාර්ලිමේන්තු මුදල් කමිටුව (COPF) විසින් මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාව අද දිනයේ කැඳවා තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ වාරික තුනක් සහ මෙවසරේ ජනවාරි මාසයේ වාරික දෙකක් ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 22.9ක ද්විපාර්ශ්වික ණය වාරිකයකට අදාළ පොලී ගෙවීම් මෙලෙස ගැටලුවට ලක්ව ඇත. මෙම ගනුදෙනු සිදුවන අවස්ථාවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති බැවින්, සිද්ධියේ වගකීමෙන් මහ බැංකුවට ද බැහැර විය නොහැකි බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියේ සහය ඇතිව මෙම සයිබර් කොල්ලය පිළිබඳ විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.














