ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට වසර 57ක් පිරීම නිමිත්තෙන් සර්වරාත්‍රික පිරිත් දේශනාවක් සහ සාංඝික දානමය පුණ්‍යකර්මයක් මහරගම, නාවින්න පිහිටි සංස්ථා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සහ සංස්ථා සභාපතිනි ගීතාමනී සී. කරුණාරත්න මහත්මියගේ උපදෙස් මත, අධ්‍යක්ෂ මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබුණි. මෙම පුණ්‍යකර්මයේ මූලික අරමුණ වූයේ දශක පහකට අධික කාලයක් පුරා දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට සංස්ථාව ලබා දුන් සේවය ඇගයීම, ඉදිරි කටයුතු සඳහා ආශීර්වාද ලබා ගැනීම සහ රටවැසියන්ට සෙත් පැතීමයි.
1969 මැයි 11 දින පිහිටුවන ලද ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව (SLADC), රාජ්‍ය කාර්මික සංස්ථා පනත යටතේ මෙරට රෝහල්, ආයුර්වේද වෛද්‍යවරුන් සහ මහජනතාව වෙත උසස් ප්‍රමිතියෙන් යුත් දේශීය ඖෂධ සැපයීමේ ප්‍රමුඛයා ලෙස කටයුතු කරයි. 2026 වසරේදී සිය 57 වැනි අභිමානවත් වසර සපුරන සංස්ථාව, පසුගිය 2025 වසරේදී රුපියල් මිලියන 1,688ක වාර්තාගත විකුණුම් ආදායමක් උපයා ගනිමින් සිය ඉතිහාසයේ ඉහළම මූල්‍ය ප්‍රගතිය අත්කර ගැනීමට සමත් විය.
නාවින්න සහ පතිරගොඩ පිහිටි නිෂ්පාදනාගාර හරහා දැනට ඖෂධ වර්ග 194ක් සහ නිෂ්පාදන ඒකක 450කට ආසන්න ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කරන අතර, පසුගිය වසරේදී පමණක් නව නිෂ්පාදන 7ක් පාරිභෝගික ජනතාව වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත.
















