දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා පවතින ශාක විශේෂවලට ජීවත්වීමට සුදුසු ස්වභාවික වාසස්ථාන (Habitats) සීඝ්‍රයෙන් හැකිලෙමින් පවතින අතර, මේ හේතුවෙන් මෙම සියවස අවසන් වීමට පෙර පෘථිවියේ හුරුපුරුදු හරිත පරිසර පද්ධතීන් සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ දැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ලොව පුරා පවතින සනාල ශාක (Vascular Plants) විශේෂ 67,000කට අධික ප්‍රමාණයක් (දන්නා සමස්ත ශාක විශේෂවලින් 18%ක් පමණ) යොදාගනිමින් සිදුකළ නවතම ගෝලීය පර්යේෂණයකට අනුව මෙම තොරතුරු අනාවරණය වී තිබේ.
‘Science’ සඟරාවේ පළවූ මෙම අධ්‍යයනය මෙහෙයවූ යේල් විශ්වවිද්‍යාලයේ (Yale University) පශ්චාත් උපාධි පර්යේෂක ජුන්නා වැන්ග් (Junna Wang) සහ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (UC Davis) මහාචාර්ය ෂියාඕලි ඩොන්ග් (Xiaoli Dong) ඇතුළු පර්යේෂක කණ්ඩායම පෙන්වා දෙන්නේ, දේශගුණික විපර්යාසයන්හි වත්මන් ප්‍රවණතාවය අනුව ඉදිරි වසර 2081-2100 කාලය වන විට අධ්‍යයනයට ලක්වූ ශාක විශේෂවලින් සියයට 7ත් 16ත් අතර ප්‍රමාණයකට ඔවුන්ගේ ස්වභාවික ව්‍යාප්ති කලාපයෙන් සියයට 90කට වඩා වැඩි ප්‍රමාණයක් අහිමි වනු ඇති බවයි. කැලිෆෝනියාවට විෂේසිත දුර්ලභ ‘කැටලිනා අයන්වුඩ්’ (Catalina Ironwood) ශාකය, වසර මිලියන 400කට වඩා පැරණි ඉතිහාසයක් ඇති ‘බ්ලූයිෂ් ස්පයික්-මොස්’ (Bluish Spike-moss) ශාකය මෙන්ම ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ප්‍රසිද්ධ ‘යුකැලිප්ටස්’ (Eucalyptus) ශාක විශේෂවලින් තුනෙන් එකක් පමණ මෙලෙස වඳවී යාමේ තර්ජනයට සෘජුවම මුහුණ දී ඇත.
සාමාන්‍යයෙන් උෂ්ණත්වය ඉහළ යනවිට ශාක තම බීජ හෝ බීජාණු මඟින් සිසිල් පරිසරයක් සොයා උතුරු දෙසට හෝ කඳුකර ප්‍රදේශ දෙසට ව්‍යාප්ත වීමට (Dispersal) උත්සාහ කළද, ශාකයක පැවැත්ම තීරණය වන්නේ උෂ්ණත්වය මත පමණක් නොවන බව විද්‍යාඥයෝ පවසති. වර්ෂාපතනය, පසෙහි ස්වභාවය, සෙවන සහ මිනිස් භූමි පරිහරණය වැනි සමස්ත සාධකයන්ගේ සංකලනය දේශගුණික විපර්යාස නිසා අඩාල වීම හේතුවෙන් ශාකවලට නව පරිසර පද්ධතීන් තුළ ස්ථාවර වීම අසීරු වී තිබේ. එබැවින් ශාක මිනිසා විසින් භෞතිකව වෙනත් ස්ථාන කරා ගෙන ගොස් වගාකිරීමේ (Assisted Migration) සාම්ප්‍රදායික සංරක්ෂණ උපක්‍රම ද මීට ප්‍රමාණවත් නොවන බව ඔවුහු අවධාරණය කරති.














