සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සහ ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් ‘ගම්පහ ඔස්මන්ඩ්’ නැමැත්තා කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කරනු ලැබූ අතර, එම ඝාතන සැලසුම විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. දැනට රැඳවුම් නියෝග මත පසුවන සැකකරුවන්ගෙන් හෙළි වූ තොරතුරු අනුව ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අවියක්, ජීව පතරොම් 10 ක් සහ පතරොම් ගැබ් (Magazines) 02 ක් පොලිසිය භාරයට ගෙන ඇත. අපරාධය සිදු කිරීම සඳහා අවශ්‍ය මාරාන්තික ගිනි අවි ලබා දෙමින් ඝාතනයට සෘජුවම ආධාර අනුබල දීම මොහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි. ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය මේ වන විට වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.














