බෙලරුස් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එරට ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍යය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන සාධනීය මැදිහත්වීම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු විය.
දෙරටටම ප්‍රතිලාභ සැලසෙන වෙළඳ, කර්මාන්ත, කෘෂිකාර්මික සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල සහයෝගීතාව වර්ධනය කර ගැනීම සඳහා පැහැදිලි දැක්මක් සහිත මාර්ග සිතියමක් සකස් කිරීම පිළිබඳව මෙම හමුවේදී එකඟතාවකට එළඹ තිබේ. විශේෂයෙන්ම දෙරටේ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ බව වාර්තා වේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 25ක් සපිරෙන මෙම සන්ධිස්ථානයේදී, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා වූ පොදු කැපවීම මෙම හමුව හරහා යළිත් තහවුරු කර ඇත. දශකයකට පමණ පසු ශ්‍රී ලංකාවෙන් බෙලරුස් රාජ්‍යය වෙත සිදු වූ මෙම ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සංචාරය දෙරටේ අනාගත සහයෝගීතාවයට ඉතා වැදගත් වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය පවසයි.














