ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් ක්‍රියාත්මක වන බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස
වලාකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතිය ඉදිරි පැය 36 ක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඉවතට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එතෙක් දිවයිනේ පළාත් රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවීමේ අවදානමක් පවතී. මීට අමතරව ඌව සහ නැඟෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් අවදානම සහිත ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුය.














